Tuesday, November 15, 2016

උඹේ හොඳම කාළේ, ඉස්සරහට...

අයින්ස්ටයිං කියන්නෙ මාර පොරක්. මොකද කාළය ගැන හරියටම කිව්වෙ මිනිහා. මොකක්ද., කාළය සාපේක්‍ෂයි කියලා. ඇත්තනේ, මට දැනෙන විදියට නෙමෙයි කාළය දැනෙන්නෙ උඹට. උඹට දැනෙන විදියට නෙමෙයි කාළය දැනෙන්නෙ එයාට. එයාට දැනෙන විදියට නෙමෙයි කාළය දැනෙන්නෙ මට... ඉතින් කාළය මටයි, උඹටයි, එයාටයි සාපේක්‍ෂව සහමුලින්ම වෙනස්.
කාළය තමයි කාළය. උඹයි එයයි දෙන්නම මට වඩා කාළයක් මේ ලෝකෙ හිටපු උන්. ඒත් මට හිතෙන්නේ, මං උඹල දෙන්නටම වඩා නාකියි කියලා. මං හිතන්නෙත් නාකි විදියටද මංදා. මට වෙලාවකට එහෙමත් හිතෙනවා.
උඹ දන්නෙ නැතුව ඇති. ඒ කාලෙ තමයි මාර කාළේ. එයත් එක්ක එතකොට ළඟින් හිටියෙ මම, පොඩි කමට හොඳේ.. වැලි සෙල්ලම් බත්, කෝම්පිට්ටු සෙල්ලම් ගෙවල් අස්සෙ හැදුවෙ නැති වුණාට අපි සෙල්ලමුත් කළා. මල් කැඩුවෙ නැති වුණාට මලුත් නෙලුවා. ඉඹ ගත්තෙ නැති වුණාට සුවඳත් වින්දා.
ඒ කාළෙ ඉඳන්ම එයා මාරයි බං. හරියට අයින්ස්ටයිං වගේ. නෑ නෑ හරියට පිකාශෝ වගේ. ඒත් නෑ, හරිම විදියට නම් පිකාශෝට පේන දේ වගේ. එතකොට නිකන් මගෙ හිත පිකාශෝ වගේ. ඇඳගෙන ඇඳගෙන යනවා. නිකං පිස්සු වගේ. කිව්වට තරහ වෙන්න එපා මචං, මට එයා දැක්කම තාමත් ඒ වගේ. පිස්සුවෙන් හිත චිත්‍ර අඳිනවා. ඒවා දැක්කොත් පිකාශෝ කැලේ.
ඒ වගෙන් දැං වැඩක් නෑ. කොහොම හරි ඒ කාළෙ තමයි කාළේ. අම්මා තාත්තා ටීචර් ''යන්න ''යන්න කියල දුන්නට මොකද, මට 'ලියන්න' ඉගැන්නුවෙ එයා. මං බලාගෙන හිටිය සෑහෙන කාළයක්, මට 'ලියන්න' ඉගැන්නුවා වගේම එයා 'කියන්නත්' උගන්නයි කියලා. ඒත් එයා අද වෙනකන්ම මට 'කියන්න' ඉගැන්නුවෙ නෑ. ඒ ගැන මට තාම හරියට කියා ගන්න බෑ බං.
එයා නම් ඕවා දන්නෙ නැතුවත් ඇති. දැන ගත්තත් උඹට කියන්නෙත් නැතිවෙයි. කොහොමත් එයාටයි උඹටයි මොකටද මං ගැන කතා.. උඹලට ඇතිනේ අහසක් තරම් පායන තරු ගැන කතා කරන්න.
ඒ ඒ කාළෙ, දැං මේ කාළෙ. මං වයසට ගියාට මොකද මේ කාළෙයි ඒ කාළෙයි අතර මගෙ වැඩි වෙනසක් නෑ. මම හෙමින් හෙමින් වැඩ කරද්දි කාළය හයියෙන් ගියා. එතකොට එයා ඒ කාළෙටත් වඩා හයියෙන් ගියා. හෙමින් හෙමින් වැඩ කරපු මම හිතුවෙත් හරි හෙමින් බං. ගත වෙච්ච කාළය පුරාවට මං බලා ගෙන හිටියා, එයා කාළයත් පහු කරගෙනම වගේ ඈතින් ඈතට ඇදීලා යන දිහා. ඒත් මචං උඹට කියන්න, එයා කොච්චර ඈතින් ඈතට ගියත් මට තාම එයා පේන දුර. උඹ ඒ ගැන ඒ තරම් දුරට​ හිතන්න එපා. මොකද මං ඇස් පියා ගත්තත් මට එයාව පේනවා. මොනව වුණත් හෙමින් හෙමින් හරි අමාරුවෙන් වගේ වැටි වැටී මාත් ආව එයා පස්සෙන්. මං අද වෙද්දි තේරුම් ගත්ත ලොකූ දෙයක් තමයි මචං, එයා ගිය පාරට short cut නෑ කියන එක.
මං මෙච්චර දේ උඹට කිවුවට මොකද උඹ මාව දන්නෙත් නෑ. අවුලක් නෑ, මාත් උඹව දන්නෙ නෑනෙ. කමක් නෑ මචං, කවද හරි අපිත් හම්බෙමු. ඒ කාළෙ වෙද්දි සමහර විට එයා සදහටමත් උඹට හම්බෙලා තියෙයි. කමක් නෑ බං. එයාට නැති මම, මට නැති උඹටනේ. උඹට සුන්දරම කාළයක් උදා වෙයි මචං. මොකද ආයෙත් මං කියන්නෙ එයා නම් මාරයි. ඉතිං, පියාඹන්න බැරිකොට මොකටද අහසට තවත් කැටයම් දාන්නේ.. උඹම ඒක අත්විඳපං. මං හිත හදා ගන්නම්. ආයෙත් කියන්නෙ අන්තිම වතාවට, එයා නම් මාරයි බං. උඹේ හොඳම කාළේ, ඉස්සරහට...


No comments:

Post a Comment