Tuesday, November 15, 2016

Ourලස්සන

                                                                    
මිහිමඬල තවමත් හඬන පින්නට නිහඬවම අවසර දෙමින් සිහිලැසි වෙයි. එසිහිලැසියෙන් මොලොක් වී ගිය තණ පලසෙහි සිසිලස නොදැනෙන තරම්ම පාවහන් මා දෙපයේ වෙලී ඇත්තේ බව සෑම තනි පියවරක් පාසාම මට දැනේ. මේ තරම් සිහියෙන් යුතුව මීට පෙරකදී ගමන් කළ බවට මතකයක් මට මා කෙරෙහි නොමැත​. ඒ සක්මන් භාවනාවක සම නොවන්නේ නම්, වේගය සහ අතරින් පතර වූ මඩ ගොහොරු බාධක වලට එදිරිව ගමන් කළ බැවින් පමණි.​
මසිරුරෙහි සෑම සියලු ශෛලයක්ම පාහේ මාත් සමඟින් එකම ගමනක යෙදී තිබේ. සෑම සියලු ඒකභාවී ශෛලයක් කෙරෙහීම මාගේ අවධානය යොමුව ඇතැයි මට සිතේ. සැබැවින්ම සුපැහැදිලි වූත් ප්‍රත්‍යක්‍ෂ වූත් එකම අරමුණක් මා කෙරෙහි බලපැවැත්වූවේ නම් ඒ නැවතත් මගේ අඳුරු නිහඬ කුටිය වෙත පිවිසීමම ය​. මා තනිවිය යුතුය​. නොවේ නම්, යළිත් තනිවිය යුතුය​. මුලු මහත් ලෝකයාටම වඩා වැඩි වූ වේගවත් බවක් මට මා තුළින් හැඟෙයි. වෙන කිසිවෙකුටවත් නැති තරම් නිශ්චිත​ පැහැදිලි ඉලක්කයක් දැඩි අවැසිතාවයක් මා සතු වන නිසා විය යුතුය මට එසේ හැඟෙන්නේ.
අවාසනාවකි. මා සිතිවිලි අතරට මොහොතකට පෙර එන්නත් වූ වෛරසය ආසදනය වීම ඇරඹූ සෙයකි. ගෙලෙහි පසෙකින් ඉපිද සීතල පින්නෙහි දියව යන දා බිඳකින් ආසාදනයේ බාහිර රෝග ලක්‍ෂණ පිළිබිඹු වෙයි. හීං කිතියකිනි මට ඒ බව දැනී ගියේ.
දැං., ඈට මා නොපෙනෙන මානයේ විය යුතුය​. මේ තාක් දුර මා ගෙන ආවේ යටි සිතින් යැයි මට සිතේ. ඈගෙන් දුරකට මා ගෙන ඒමට පමණි ඊට අවැසිව ඇත්තේ. මාගේ සියලූම ශක්තීන් ඒ සඳහා යෙද වූ තරම් දැං මා දුර්වලව ඇත​. අසරණව ඇත​. නමුදු මා ඇදෙමි, ඉදිරියටම​. ඉදිරියෙහි මාගේ කුටිය ඇත්තේ.
කුටියට පිවිසුණු වහාම කල යුතු කාර්‍යයකි. ඈ කෙරෙහි මට ඇත්තේ ද්වේශයක්දැයි වටහා ගැන්ම අසීරු උවත්, ඇයට විරෝධය පෑමේ අවැසිතාවයෙන් සිදු කළ යුත්තකී  ඒ. ඉං ඈට කිසිදු අවැඩක් නොවනු ඇති මුදු ඒ තුළින් මට ඇයට එදිරි වූවේ යැයි යන​ යම් නියාලු බවකින් තරමක් හෝ සැනහිය හැකි වේ යැයි හැඟෙයි. ඈ කියූ දෙය මා නොකළ යුත්තේ එබැවිනි. ඔවු, කැඩපත කුඩු කර දැමිය යුතුය​. යන මගදී ගඩොල් බෑයක් සොයා ගැන්ම අපහසු නොවනු ඇත​. කුඩු කර දමමි ගිය සැණින් කැඩපත​.
මාගේ අවලස්සන බව මා පසක් කොට මීට බොහෝ කල්‍ ය​. බොහෝමයක් අයවලුන්ද එය හුවා දක්වා ඇති නමුත්, මගේ රුව කෙරෙහි මා සතු අවභෝධය ඊට බෙහෙවින් මහත් වූ බැවින් එය විඳ ගැන්ම මට ඒ තරම් අපහසු වූවක් නොවුණි. නමුදු අද​..? අද ඊට ඉඳුරාම වෙනස් විය​. ඒ, එබැවු හුවා දැක්වූවේ ඇය නිසාද​..? නොඑසේ නම් එය සිදු කළ ආකාරයේ වන අසමාන බව නිසා ද​..? එසේත් නොවේ නම් ඒ හේතූන් ද්විත්වම​යත් තවත් සිත නැමැති ඉංද්‍රියෙහි ගෝචර නොවන්නා වූ හේතූන් බොහෝමයකුත් නිසා ද..?
එබව නිශ්චය කර ගැන්මට​ තරම් සිතිවිලි ඒකාග්‍ර කර ගත නොහැක​. ලජ්ජාවකට වඩා කලකිරීමකි මට ඇත්තේ. ඈට මා තරම් නොවන බව​ මා හොඳින්ම දනිමි. දැන ද උන්නෙමි. එබැවින් මට ඈ මගේ කර ගැන්මේ වෑයමක් ද​ නොවුණි. එහි වන අතාත්විකත්වය ඇයටත්, වෙන කවරෙකුටවත් වැඩිව​ මට වැටහේ. එනමුදු ඇය මට විශේෂිතය​. සුවිශේෂිතය​. එකදු තරුවක් හෝ වළාකුලක් නොමැති හිස් අහස් කලුවරේ ඇඳි පිරිපුං සඳක් සේය මට ඈ දිස් වන්නේ. අවලස්සන මා අංධ නොවීමේ වරදට අද හසුව ඇත​. නමුත් මා උරණ නොවිය යුත්තේ ඈ අදහස් කළේ මුසාවක් නොවන බැවිනි.
තවත් පසෙකින් මොන යම් ලෙසින් හෝ ඈ මා කෙරෙහි සිතිවිලි මෙහෙයවා ඇත්තේ බැවින් මට තුටු විය හැකිය. එතකදු නොනැවතී ඇය අද මා කෙරෙහි වදන් කිහිපයක්ද තෙපලුවාය​.

"ආයෙත් මා දිහා බලන්න කලින්., කණ්නාඩිය දිහා බලලා එන්න​..."

 ඉතිං මා තුටු විය යුතු නොවේද​.? සෑම කලු වළාවකම රිදී රේඛාවක් ඇඳී ඇත්තාක් සේ සිහින් සිනා රැල්ලක් මාගේ අජූව මුහුණේද රැඳී ඇතුවාට සැක නැත​. ඔවු., කියූවේ කුමක් වුවත් ඇය අද මට කතා කළා ය​.
ඇය ඒ පැවසූයේ රිද්මයානුකූලවය​. ඇගේ ගමන, අංග චලනය​, බැල්ම​, ශෝකී බැල්ම​, ස්මිතිය​, හඬ ඇතුලු උරණ බවහිත් සියුම් කලාත්මක​ බවක් ගැබ් වී ඇතැයි මට සිතේ. අද මා ලය ඉතා තියුණු හී තුඩ සරක් ලෙසින් පසාරු කර දැම්මට සමත්ව ඇත්තේත් ඒ ඇගේ නිසඟ කලාත්මක ප්‍රතිභාවම විය යුතුය​. ඈ දෙස නොබලනා ලෙස ඈ කීවේ නැත​. නොබැලීමට හේතුව කීවේද නැති ඈ ඒ බව මටම වටහා ගැන්මට අවැසි මග කීය​.
නොදැනුවත්වම මා දැං මාගේ කුටියේ දොරකඩ අභිමුවට විත් එය විවර කරමින් සිටිමි. මා සුපුරුදු ගුහාවටම පැමිණ ඇති බව මට දැං පසක් වෙයි. මගින් අහුලා ගෙන ආ යුතුව තිබූ ගඩොල් බෑය මට අමතකව ගොස් ඇත​. පසෙකින් එල්ලී ඇති කැඩපත මට පෙනේ. එනමුදු එය මා දෙස නොබලයි.
මා ඒ ඉදිරියට යා යුතුද​.? එක් වරක් වත් යා යුතුද බිඳ දමන්නට පෙර​..? කුණාටු සයුරක එකම අරමුණ පෙරලී නොයාම වූ නෞකාවක් සේ මාද මාගේ සිතිවිලි මෙහෙයවන්නේ කඳුලකින් ගැබ්බර නෙතඟ රුදාව දරා කඳුල රඳවා ගැන්ම පමණක්ම අරමුණු කර ගනිමිනි. මා තීරණයක් ගත යුතුව ඇත​. එළියට ගොස් ගෙන ආවෙමි, ගඩොල් බෑයක්. සෑමදාම මට විරිත්තූ කැඩපත මම අද උඹව සුණු විසුණු කරමි. ඈ කියූ දේ නොකරමි මම​, සුණු විසුණු කරමි නුඹව​.
කැඩපත අභිමුවට ඇදෙනු වස් මා දෑස් පියා ගත්තෙමි. දමා ගැසීමට පෙර එල්ලය නිශ්චය කර ගත යුත්තේ එක් ඇසක් පමණක් ඉතා සියුම් ලෙස විවර කළෙමි. අහෝ..! මා දුටුවේ මායාවක්ද​..? කැඩපත මා මුලා කළා වත් ද​..? විවර කළෙමි මාගේ දෑස් කැඩපතට එදිරිව​. නවතා ගැන්මට නොහැකි සිනහවකි දැං මට ඇත්තේ.. සැබැවින්ම නවතාලිය නොහැක සිනහව මට නම්. අහෝ.. මා කැඩපතෙහි දුටු දෙය​..
ආයාස ගත යුතු නැත නවත්වා ගන්නට සිනහව​. මා සිනාසෙමි. යළි යළිත් නොනැවතී සිනාසෙමි. විරුපී ප්‍රතුබිඹුවක්ව කැඩපත තුළින්  මා දෙස බැලූ සුරූපී ඇගේ, හදවත දැක වික්‍ෂිප්තව නවතාලිය නොහී සිනහවෙන් පීඩිතව කඳුලු වගුරමින් මා සිනාසෙමි. අතරතුර අත් හලෙමි ගඩොල් බෑය​. මා දුටු ඇගේ නොදුටු හදවත පෙන් වූ කැඩපත කුමට කුඩු කරම්ද​..? අසීමිත සිනහව සුසුම් සිර කරනා බවක් මට අඟවයි. සිනාව නවතාගනු වස් මා ඉං හැරෙන්නෙමි. සැබැවින්ම මා ඇහැරෙන්නෙමි.




No comments:

Post a Comment